Top News

මහනුවර ප්‍රදේශයේ සිදුවීමෙන් හානියට පත්වූවන් 136කට වන්දි ප්‍රදානය කරයි



මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය දා ඇති වූ සිද්ධියෙන් විපතට වූවන්ට වන්දි ප්‍රදානය කිරීම 19 දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
මෙහි මුල් අදියර ලෙස පූජාපිටිය, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, ගගවට කෝරලේ සහ අකුරණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහක විපතට පත් වූවන් 136 දෙනකු සදහා වන්දි ප්‍රදානය කරන ලදී.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු පිලිබද රාජ්‍ය අමාත්‍ය එම්.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් වන්දි ප්‍රදානය සිදුවිය.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.එම් හිස්බුල්ලා මහතා අද දින මූලික ගෙවීමක් ලෙස මෙම වන්දි ප්‍රදානය කරන බවත් ඉතිරි පුද්ගලයන් සදහා වන්දි ගෙවීම නුදුරේදීම සිදු කරන බවත් පැවසීය. ඒ සදහා තම අමාත්‍යාංශයේ කාර්යාලයක් සෑම සදුදා දිනකම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වන බවත් පැවසීය. විපතට පත්වූවන් පිළිබද සොයා බලා ඔවුන්ට අවශ්‍ය සහනාධාර ලබා දීම තම අමාත්‍යාංශයේ කාර්යාලය හරහා සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසන ලදී.
මීට අමතරව හානි වූ ආගමික ස්ථාන සදහා තම අමාත්‍යාංශය හරහා රුපියල් ලක්ෂ 10 මුදලක් ලබා දිය හැකි බවත් ඊට වැඩිවන මුදල් කැබිනට් අනුමැතියක් ලබා ගෙන මුදා හැරිය හැකි බවත් පවසන ලදී.මෙම අවස්ථාව සදහා තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එම්.එච්.ඒ.හලිම්,මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී.හිටිසේකර මහතා ඇතුළු රජයේ නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.
Previous Post Next Post