අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී එජාප මහලේකම් ලෙස අකිල විරාජ් කාරියවසම්, සභාපති ලෙස කබීර් හෂීම්, ජාතික සංවිධායක ලෙස නවීන් දිසානායක, නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස හා උපනායක ලෙස රවි කරුණානායක යන මහත්වරුන් පත් කිරීමට නිර්දේශ වී තිබේ.
මේ අතර නියෝජ්‍ය මහලේකම්, වෘත්තීය සමිති ලේකම් හා ප්රචාරක ලේකම් යන තනතුරු සඳහා තිදෙනකු පත් කර ගැනීමටද එහිදී නිර්දේශ වී තිබේ.
මේ අනුව අද (26දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම තනතුරු සඳහා ඉහත සඳහන් අය පත් කිරීමට අනුමතව ඇති නමුත් ඊට අකැමැති පිරිසක් සිටීම හේතුවෙන් අද පැවැත්වෙන රැස්වීම දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගනු ඇති බවද එජාප ආරංචිමාර්ග සඳහන් කරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විස්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ එජාපය තුළ පූර්ණ ප්රතිසංවිධානයක් සිදු කරන බව ප්‍රකාශ කළ නමුත් එම විශ්වාසභංග යෝජනාවෙන් ජයගත් පසු අගමැතිවරයා පෙර පුරුදු පරිදි ස්වකීය ආධිපත්‍ය පතුරුවාලීම සඳහා සුපුරුදු නාඩගම නැටීමට උත්සාහ කළහොත් ඊට කිසිසේත්ම ඉඩ නොතබන බව එජාප පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම ප්‍රකාශ කරති.
පූර්ණ ප්රතිසංවිධානයක් සිදුකර එජාප නායකත්වය වෙනස්විය යුතු බවට පක්ෂයේ මන්ත්‍රිවරුන් බහුතරයක් ප්‍රකාශ කළ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එජාපයේ පූර්ණ ප්රතිසංවිධානයක් කරන බවටත් සියලුම තනතුරුවල වෙනස්කම් සිදු කරන බවටත්, එජාප පාර්ලිමේන්තු කණ්ඩායමට හා එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයටත් ප්‍රතිඥාවක් දී තිබිණි.
ඒ අනුව එජපා පාර්ලිමේන්තු කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයේ කැමැත්ත ඇතිව දේශපාලන මණ්ඩලයක් පත්කරගත් එජාප නායකයා එහි ස්වාධීනත්වයට ඉඩ නොදී එම දේශපාලන මණ්ඩලයට තමන් ඇතුළු තම හිතවතුන් තිදෙනකුට (3) සහභාගිවීමට අවකාශ සලසා ගෙන ඊයේ (25දා) වන විට සිවු වරක් (4) එම දේශපාලන මණ්ඩලය මෙහෙයවීමේ වගකීම ඔහු අතට පත්කරගෙන ඇති බව පසුපෙළ මන්ත්‍රිවරු චෝදනා කරති.
මෙහිදී සැලකිය යුතු විශේෂ කාරණයක් වන්නේ එජාප මහලේකම්වරයා හා භාණ්ඩාගාරිකවරයා පත් කිරීමේ අයිතිය ඔහු වෙතට පවරා ගැනීම බව පෙන්වා දෙන එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිස පක්ෂයට ස්වාධීන නිලධාරීන් කණ්ඩායමක් පත්කර ගැනීමේ අයිතිය ඔහු විසින් අහෝසි කර ඇතැයිද පෙන්වා දී ඇත.
අද (26දා) පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අදාළ නිලධාරීන් තෝරා ගැනීම එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ඡන්දයකින් තීරණය කළ යුතු බවද එම පසුපෙළ කණ්ඩායම අවධාරණය කරති.
Post a Comment