Top News

දහසයේ ඉරණම



“ආණ්ඩුවේ කවුරු කැමැති වුණත් අකැමැති වුණත් මේ රටේ මිනිස්සුන්ට දැවැන්ත දේශපාලන කලකිරීමක් තිබෙනවා. මිනිස්සු ආණ්ඩුව කෙරෙහි දැඩි ලෙස කලකිරිලා ඉන්නකොට ඒ තැන තමයි අපිත් හිටියේ. පසුගිය කාලය පුරාම මිනිස්සුත්, අපිත්, විතරක් නොවෙයි ජනාධිපතිතුමත් ආණ්ඩුව කෙරෙහි දැඩි ලෙස කලකිරිලයි හිටියේ.” (22/04/2018 මාධ්‍ය)
ආණ්ඩුවේ හිටියත් නැතත් ඇමැතිකම තිබුණත් නැතත් හෙට දවසේ විපක්ෂයේ වාඩි වුණත් නැතත් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක කියන මේ කතාව සත්‍යයකි. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී එස්.බී. ඇතුළු පිරිස ඊට පක්ෂව ඡන්දය දීමට සිදු වූ දේශපාලන සාධකය නිර්මාණය වී තිබෙන්නේ ද මේ ජනතා අප්‍රසාදය කරණකොට ගෙනය. එය අගමැති රනිල්ට එරෙහි වීමටත් වඩා ඔහු සංකේතයක් ලෙස භාවිත කරමින් ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය ජනතාව අතරට ගෙන ඒමට ප්‍රයත්න දැරීමකි.
  එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට සම්බන්ධ වූ දෙවැනි ප්‍රබල පාර්ශ්වකරුවා ලෙසින් ඊට විද්‍යාත්මකව විසඳුම් සෙවීමට ගියේ නැත. විද්‍යාත්මකව දේශපාලන විසඳුම් සොයනවා යන්න අලුත් ගිවිසුමකට හා නව කතිකාවතකට යෑමය. ඒ වෙනුවට ඔවුන් කල්පනා කළේ අගමැති වෙනුවට එ.ජා.ප.යේ නව චරිතයක් ආදේශ කරගෙන ආණ්ඩුව ගෙනයෑමට ප්‍රයත්න දැරීමේ ප්‍රාථමික වැඩකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදය එහි ප්‍රතිඵලයකි. මෙහිදී වුව ද පක්ෂය පෙරට ගෙන තමන් ලබමින් සිටින වරප්‍රසාද පොදිය මොහොතකට හෝ පසෙක තැබීමට සියල්ලම තනි කණ්ඩායමක් විධියට සූදානම් නොවීම නිසා ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම දෙකට කැඩී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී.ල.නි.ප. එක් පිරිසකට විපක්ෂයේ අසුන් ගැනීමට සිදු වී තිබේ.
මේ කිසිවක් නිසා රටේ අර්බුදයට, ආණ්ඩුවේ පසුබෑමට හෝ ශ්‍රී.ල.නි.ප. අභ්‍යන්තර කැරැල්ලට විසඳුම් ලැබෙන්නේ නැත. මේ සියල්ලටම උඩින් කල්පනා කරමින් ජනාධිපතිවරයාට රාජ්‍යනායකයා ලෙසින් මේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට සිදු වී තිබේ. එය ඔහු 2015 ජනවාරි 8 වැනිදා ජනතාවගෙන් භාරගත් වගකීමකි. 
“විශ්වාසභංග යෝජනාව තුළ ඇති වූ ප්‍රතිඵල අපි කවුරුත් දන්නවා. මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයා විධියට මගේ වගකීම මගේ යුතුකමක් වන්නේ පාර්ලිමේන්තුවේ මොන විධිහේ දේශපාලන ප්‍රශ්න හා අර්බුද ඇති වුණත් මම රටට වගකිව යුතුයි. ඒ වගකීම ඉටුකිරීමේදී කුමන ආකාරයෙන් හෝ රජය ශක්තිමත් කළ යුතුයි.”
“මේ අවස්ථාවේත් පාර්ලිමේන්තුවෙන් කරන මගේ විවෘත ඉල්ලීම තමයි රජය ශක්තිමත් කිරීම සඳහා ඕනෑම කෙනකුට රජය සමඟ එකට එකතුවෙන්න පුළුවන් කියන එක. පැමිණෙන පිරිස් කවුරු වුණත් මේ පිරිස සමඟ රජය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනියනවා.”
(ජනාධිපති මාධ්‍ය ප්‍රධානීන් අමතා කළ ප්‍රකාශය) 
ජනාධිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලිය. ඊට සමගාමීව පක්ෂය තිබෙන්නේ රට නමැති සාධකයට වඩා පහළිනි. මේ නිසා ශ්‍රී.ල.නි.ප. අරටුව විපක්ෂයට යවා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී පැත්තක් නොගත් පොතු හැළුණු සමහර ශ්‍රී ලංකාකාරයන් ද සම්බන්ධ කරගෙන මේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට ජනාධිපතිවරයාට සිදු වී තිබේ. 
මෙහිදී 16 දෙනාගේ කණ්ඩායමට දේශපාලන වශයෙන් රෙද්දක් ඇඳගෙන ඊට එක්විය නොහැක. ඔවුන් ගෙන තිබෙන තීරණය නිවැරැදිය. ඒ අය සමඟ ආණ්ඩු කිරීමට එක්සත් ජාතික පෙරමුණ ද සූදානම් නැත. මේ මොහොතේ ආණ්ඩුවේ සිටිය යුතු හා නොසිටිය යුතු අය තීන්දු කිරීමේ වැඩි වාසිය එක්සත් ජාතික පෙරමුණ හිමිකරගෙන සිටී. එය ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී.ල.නි.ප. කණ්ඩායමේ උපක්‍රමවල වරදින් සිදුවූවකි. වෙන විධියකින් මේ මොහොතේ ජනාධිපතිවරයා යම් අපහසුතාවකට පත්කර තිබෙන්නේ ද එතුමා නායකත්වය දරන ශ්‍රී.ල.නි.ප.යේම කණ්ඩායමක් බව පෙනේ.
එහෙත් ආණ්ඩුව තුළ මෝදුවෙමින් පවතින යූ.ඇන්.පී. ආධිපත්‍යයට එරෙහිව ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රතිචාර දැක්වීමේ තැනකට තල්ලු වුවහොත් මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යෑමට සිදුවන්නේ යන්නන් වාලේ අර්බුද සහිතව බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ බව ද එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම කල්පනා කිරීම වැදගත්ය. ඊට හේතුව විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුව ද ආණ්ඩුවේ ප්‍රශ්නයට තවමත් විසඳුමක් නොලැබීමය.
යූ.ඇන්.පී.ය මොන විධියට ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙන් කල්පනා කළත් පොල්මඃකාරකම් පෑවත් රටේ අර්බුදයට හා ආණ්ඩුව කෙරේ ජනතාව දක්වන ආකල්පවල වෙනසක් ඇතිකිරීමට ඔවුන් තවමත් සමත් වී නැත. පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සමඟ ඉදිරියට ගමන් කරන රටේ හා ආණ්ඩුවේ අර්බුදය ඒ ආකාරයෙන්ම ඉදිරියට ගමන් කරන බව පෙනේ. අගමැතිවරයා සිය පක්ෂයේ හා ආණ්ඩුව තුළ බලය තහවුරු කරගැනීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරටු නායකයන් සමඟ 16 දෙනකු මේ අර්බුදයෙන් නිදහස් වී යම් කීර්තියක් සමඟින් විපක්ෂයේ අසුන් ගැනීම හැරෙන්න අලුත් යමක් වර්තමානයේ දේශපාලන වශයෙන් සිදුවන බවක් දක්නට නොලැබේ.
මේ කිසිවකින් රටේ හා ආණ්ඩුවේ අර්බුදයට විසඳුමක් නොලැබෙන බව ජනාධිපතිවරයා තේරුම් ගෙන සිටී. පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් තබමින් නව සැසිවාරයක් අරඹමින් අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමට ඔහු තීරණයක් ගෙන තිබෙන්නේ නව ගමනක් යෑමට බව පැහැදිලිය. ඒ ගමන කුමක් සඳහා ද 2015 ජනවාරි 8 වැනිදා ඔහු බලයට පත්කළ ජනතාවගේ හා සමස්තයක් වශයෙන් රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම වෙනුවෙනි. මේ සඳහා ස්ථාවර ආණ්ඩුවක් හා නව වැඩපිළිවෙළක් රටට අවශ්‍යය. නැතිනම් 2015 ජනවාරි 8 දා සිදුවූයේ අත්වැරැද්දක් යැයි ජනතාව කල්පනා කරන දිනය වැඩි ඈතක නොවේ.
මේ සඳහා කනගාටුවෙන් වුව ද පක්ෂයේ අර්බුදය පසෙක තැබීමට ජනාධිපතිවරයාට සිදුවේ. එය තේරුම් ගැනීමට අර්බුදයට මැදිවී සිටින කාටවත් අපහසු නැත. රටක් ලෙස ගත් කල නායකකාරකාදීන්ට උසස් ප්‍රබුද්ධ ප්‍රතිපත්ති පැවැතිය ද ප්‍රායෝගික තලයේ ඒවා ක්‍රියාත්මක කිරීමේ දේශපාලනයක් ද පවත්වාගෙන යා යුතුය. ඒ සඳහා නායකයකුට දේශපාලන පක්ෂයක් ද අවශ්‍යය. දේශපාලන පක්ෂයක නායකත්වයෙන් තොරව නායකයකුට කාගේ හෝ අතකොළුවක් නොවී සිය ප්‍රතිපත්ති අනම්‍යව ඉදිරියට ගෙන යෑමේ ප්‍රශ්නයක් පැන නඟී. ඒ අනුව ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමක් ලෙසින් තබා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වී තිබේ. එසේම දැන් ඉවත්ව යන 16 දෙනා සමඟ ද යම් එකඟතාවකින් වැඩ කිරීමට සිදුවේ. මේ අතර ඒකාබද්ධ විපක්ෂය සමඟ මුසුවෙමින් ආණ්ඩුවේ පට්ට පතුරු යැවීමට එම 16 දෙනා කටයුතු කිරීම ද වැළැක්විය නොහැකි කරුණක් වනු ඇත.
ලබන මැයි 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් මේ සියල්ල එකට තබාගැනීමට ජනාධිපතිවරයා සූදානම් වන බව පෙනේ. එය නව ගමනක් යෑම උදෙසා ද ආණ්ඩුවට අලුත් මුහුණුවරක් ලබාදීම උදෙසා ද ආණ්ඩුවේ පසුබෑම වළක්වා ගැනීම උදෙසා ද යහපත්ය. මේ සියල්ල සඳහා ආණ්ඩුව තුළ ජනාධිපතිවරයාගේ දේශපාලන ශක්තිය වැදගත්ය. ඒ ශක්තියට කර ගැසීමට තීරණාත්මක මොහොතකදී පැත්තක් ගැනීමට අසමත් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී.ල.නි.ප. කණ්ඩායම කොතරම් ශක්තිමත් වේ දැයි කියන්න දන්නේ නැත. ඔවුන්ගෙන් පිරිසක් අනාගතයේ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වීමේ අටියෙන් දැන් සිටම හොර දේශපාලන ගනුදෙනුවක නිරත වීමට සූදානමින් සිටින්නේ නම් ජනාධිපතිවරයාට වැදගත් වන්නේ ඉවත් වී යන කණ්ඩායම බව අමුතුවෙන් කිව යුතු නැත. ආණ්ඩුවෙන් පිටත පවතින යූ.ඇන්.පී. විරෝධී ජනමතය සඳහන් කරන්නේ මේ පිරිස අනාගතයේ එක්සත් ජාතික පෙරමුණක ශාඛාවක් ලෙසින් ශ්‍රී.ල.නි.ප.ය පවත්වාගෙන යෑමට කටයුතු කිරීමට ඉඩ තිබෙන බවය. 
ජනාධිපතිවරයා මැයි 8 වැනිදායින් පසු පක්ෂ ප්‍රතිසංවිධානයකට සූදානම් වන්නේ මේ පිළිබඳ අවබෝධයකින් යුතුව දැයි කියන්න දන්නේ නැත. ශ්‍රී.ල.නි.ප.ය කනත්තට ඇදගෙන යෑමේ සූදානමක් ඔහුට නොමැති බව ඉන් පැහැදිලිය. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ සාපයෙන් එම පක්ෂය ගලවා ගැනීමේ වගකීම මේ කාටකාටත් තිබිය යුතු බව අමුතුවෙන් කිවයුතු නැත. ඊට හේතුව ශ්‍රී.ල.නි.ප.යට ආවේණික මැද මාවතේ දේශපාලනය රටට වඩාත් අවැසි මොහොතක එම පක්ෂයට පාංශුකූලය දීමට සූදානම් නොවීමේ වගකීම ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මේ කාට කාටත් අද දවසේ වෙන කවදාටත් වඩා තිබිය යුතුය. එය රටේ යහපතට ද වැඩදායකය. විශේෂයෙන්ම තාවකාලික අමාත්‍යාංශ සූප්පුවකට වඩා එය වැදගත්ය.
හෙට දවසේ විපක්ෂයට එක්වන ශ්‍රී.ල.නි.ප. කණ්ඩායම අනාථයන් ලෙස හැඳින්වීමට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ සමහර විචාරකයෝ පෙළඹී සිටිති. එක්කෝ මෙවන් විචාර ඉදිරිපත් කරන්නේ වාචාලකමටය. නැත්නම් කුහකකමටය. මේ දෙකටම නොවේ නම් තමන්ගේ සිහින බොඳවී යා හැකි දෝ යන භීතියකින්ය. විචාරකයා තමන්ගේ කදමල්ල හා බඩ කට ගැන පමණක් කල්පනා කරන්නේ නම් ඔහු කොපමණ උගත් වුණත් තම කණ්ඩායමටවත්, රටටත් වැඩක් නැත. 
සත්‍ය වශයෙන්ම අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය ඒකාබද්ධ විපක්ෂයේ වුව ද එක්තරා කණ්ඩායමක වුවමනාවට සිදු වූ බව පෙනේ. ඊට හිටපු ජනාධිපතිවරයා ද බලහත්කාරයෙන් හසුකර ගත්තා වාගේය. දේශපාලනය ගැන දන්නා ජනාධිපති මහින්දට ඊට අත්වන ඉරණම කල්තියාම නොදැනෙන්නට විධියක් නැත. අවසානයේ මේ නොමේරූ අතිධාවනකාරී දේශපාලන වුවමනාවට කර ගැසීමට සිදු වූයේ ආණ්ඩුව නියෝජනය කළ කණ්ඩායමේ 16 දෙනාටය. මේ නිසා පරාජයේදී ඒකාබද්ධ විපක්ෂයට වුව ද විශ්වාසභංග යෝජනාව නිසා යම් යම් ජයග්‍රහණ අත්පත් කර දීමට ඔවුහු සමත් වූහ. ඔවුනට ආණ්ඩුව නියෝජනය කළ 16 දෙනකු විපක්ෂයේ වාඩිකරවා ගැනීමට හැකිවිය. ශ්‍රී.ල.නි.ප. අරටුවක් විපක්ෂයට එක් වී ඇත. එසේ එක්වන අය මේ මොහොතේ ආණ්ඩු විරෝධී දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමකට ලක්ව තිබේ.
අද දවසේ ඒකාබද්ධ විපක්ෂය තුළ මෝරායමින් පවතින අන්තවාදී ජාතිවාදී ප්‍රවණතා තවදුරටත් ඉදිරියට ගමන් කිරීම ඔවුන්ට අවාසිදායකය. මේ 16 දෙනා ශ්‍රී.ල.නි.ප. මැදමාවතේ මතවාදයේ පිහිටුවමින් ඊට එරෙහිව පාවිච්චි කිරීමට ඒ අයට කදිම ආයෝජනයක් වනු ඇත. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා පවා සතුටු වනවාට සැකයක් නැත. එසේ නම් ඔවුන් දේශපාලන අනාථයන් වන්නේ කෙසේ ද? වසර පහක ආයෝජනයක් වෙනුවෙන් වසර එකහමාරක් කැප කරනවා ද? වසර එකහමාරක් වෙනුවෙන් වසර පහක් නැති කරගන්නවා ද? යන්න අද දේශපාලනය කරන සමහරුන් කල්පනා කරන සාධකයකි. එය පෞද්ගලිකය. එහෙත් ඉදිරි මැතිවරණයකදී පාර්ලිමේන්තුවට ආවත් නැතත්, විශ්‍රාමිකව හෝ ජනතාව අතර යම් කීර්තියක් අත්පත් කරගැනීමේ දේශපාලන භාග්‍යය හෙට දවසේ විපක්ෂයේ වාඩිවන ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා හිමිකරගෙන සිටිති. මේ මොහොතේ එය වුව ද ඔවුනට ප්‍රමාණවත් වනු ඇත.

Post a Comment

Previous Post Next Post