Top News

මේ රට හදන්න නම් මිලිටරි පන්නයේ පාලනයක් ඕනෑ



ශ්‍රීලනිපයේ සිටි ඔබ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වුණේ ඇයි?
මුස්ලිම් ඡන්ද දායකයන්ගෙන් 99%ක්ම 2015 ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාදුන්නේ පොදු අපේක්ෂකයාටයි. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරද්දන්න මුස්ලිම් අයගේ මතය වෙනස් කිරීමට කටයුතු කළා. මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ආවොත් මේ රටේ මුස්ලිම් ජනතාවට ජීවත්වෙන්න බැරි තත්ත්වයක් උදාවෙයි කියන බය මුස්ලිම් අය තුළ ඇති කළා. ඒක ඇත්ත නෙවෙයි. මහින්ද මහත්තයාගේ පාලන කාලයේදී තමයි මුස්ලිම් අයගේ හොඳම කාලය වුණේ.
අවුරුදු තිහක යුද්ධයක් මේ රටේ තිබුණා. මුස්ලිම්වරුන් හැටියට අපි කිසිම දවසක වෙනම රටක් ඉල්ලුවේ නෑ. එහෙම අවශ්‍යතාවක් තිබුණේ නෑ. ඕනෑම ටවුමක අපට යන්න මුස්ලිම් පල්ලියක් තිබුණා. ඕනෑම ටවුමක අපට යන්න මුස්ලිම් කඩ තිබුණා. කඩයට එන පාරිභෝගිකයන් සීයක් හිටිය නම් එයින් මුස්ලිම් පාරිභෝගිකයන් හිටියේ හතර පස් දෙනයි. අනූවකට වඩා පාරිභෝගිකයන් වුණේ සිංහල ජනතාව. ඒ වගේ පරිසරයක අපට වෙනම රටක් හදන්න, වෙන් වෙලා ඉන්න අපට අවශ්‍යතාවක් තිබුණේ නෑ.
එහෙත් වෙනම මුස්ලිම් ජාතික පක්ෂ බිහි වුණා?
මුස්ලිම් ජාතික දේශපාලන පක්ෂ කලින් කලට බිහිවුණා. ප්‍රශ්නය ඒක නෙවෙයි. යුද්ධයෙන් මුස්ලිම් අය පීඩා වින්දා. කාත්තන්කුඩිය, පල්ලියගොඩැල්ල, ඒරාවුර් වගේ තැන්වල මුස්ලිම් අයට අමානුෂීය විදිහට සැලකුවා. ඒරාවුර්වල සදාම් හුසේන් ගම්මානයට පැනපු එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අමානුෂික විදියට අපේ අය ඝාතනය කළා. පැය ගාණක කාල සීමාවක් දීලා උතුරු පළාතෙන් මුස්ලිම් ජනතාව පලවා හැරියා. මේ මොන දේ වුණත් අපට උදවු කරන්න ලෝකේ වෙන මුස්ලිම් රටවල් ආවේ නෑ. මහින්ද රාජපක්ෂ තමයි ඒ යුද්දේ ඉවර කළේ. යුද්ධයෙන් පසුව මුස්ලිම් ජනතාවට ලොකු නිදහසක් ලැබුණා. නැඟෙනහිර පළාතේ ගොඩක් සංවර්ධන කටයුතු සිදුවුණා. අපට මුස්ලිම් පාසල්, අධ්‍යාපනය දියුණු වීම සිදුවුණා. විශේෂයෙන්ම මහින්ද මහත්තයාගේ කාලයේ අමාත්‍ය මණ්ඩලයේ මුස්ලිම් ඇමැතිවරුන් දහඅට දෙනකු සිටියා.
මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී මුස්ලිම් ජනතාවට අසාධාරණකම් සිදුවුණු බවක් කියවුණා නේද?
යුද්ධ කාලයේ සිවිල් වැසියන් විශාල වශයෙන් මැරුවා කියලා ජිනීවා මානව හිමිකම් චෝදනාවක් ආවා. ඒකේදී මුස්ලිම් මිනිසුන් පාරට බැහැලා යුද්ධය ඉවර කරපු එක සාධාරණයි, එල්ටීටීඊ එකෙන් තමයි වැරැදි වුණේ කියලා හඬ නැඟුවා. මුස්ලිම් ජනතාව දහස් ගාණක් කොළඹට පෙළපාළියක් ආවා ජිනීවා චෝදනාවලට විරුද්ධව මහින්ද මහත්තයා ආරක්ෂා කරන්න. එදා ඉඳන් මහින්ද මහත්තයාට විරුද්ධ පිරිස උත්සාහ කළා මුස්ලිම් ජනතාවයි මහින්ද මහත්තයයි අෑත් කරන්න. ඒ පිටුපස ජාත්‍යන්තර සංවිධාන සිටියා. ලෝකෙම මුස්ලිම් ජනතාව එක්ක ප්‍රශ්න ඇති කරන්න කටයුතු කරන සංවිධාන තිබෙනවා. මොසාඩ්, රෝ, සී අයි ඒ වැනි සංවිධාන ඔවුන්ට උදවු කරනවා. රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ප්‍රධානීන් කිහිපදෙනකු ඔවුන් බිලී බා ගත්තා. මුස්ලිම් විරෝධී බොදු බලසේනා සංවිධානයනිර්මාණය කළේ රාජපක්ෂලා කියලා මතයක් ඇති කළා . අලුත්ගම සිදුවීම කුමන්ත්‍රණයක්. එහි අරමුණ රාජපක්ෂ හා මුස්ලිම් ජනතාව අතර විරසකයක් ඇති කිරීම.
අලුත්ගම සිදුවීම වෙලාවේ ආණ්ඩුව හැසිරුණු ආකාරය සාධාරණයි කියන්න පුළුවන්ද?
ඒ වෙලාවේ ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. මහින්ද මහත්තයයි ගෝඨාභය මහත්තයයි දෙන්නම ඒ වෙලාවේ රටේ හිටියේ නෑ. එහෙත් යළි සිදුවීමක් නොවෙන්න සම්පූර්ණයෙන්ම ඒ තත්ත්වය පාලනය කළා. ලංකාව පුරා ජාතිවාදී ගැටුම් පැතිරී ගියේ නෑ. ලංකාවේම මුස්ලිම් පල්ලිවලට සම්පූර්ණ ආරක්ෂාව දුන්නා මාස දෙකක් විතර. ඒ සිද්ධියෙන් පස්සේ කිසිම තැනක ප්‍රශ්නයක් වුණේ නෑ. අලුත්ගම සිද්ධියේදී ගිනිතියපු ගෙවල් හදලා දුන්නා. කඩවල් හදලා දුන්නා. වන්දි දුන්නා.
දිගනත් මේ වගේ කෝලහාලයක් ඇති වුණා.
මිනිස්සු කීයක් මැරුණද ඒ සිද්ධිය නිසා. කෝටි ගණන් වටිනා දේපොළ නැති වුණාද?
දිගන සිදුවීමේදී තත්ත්වය පාලනය කරන්න සමාජ මාධ්‍යවලට පවා තහංචි දැම්මා නේද?
තත්ත්වය පාලනය කරන එක නෙවෙයි කළේ, සමාජ මාධ්‍යවලින් ආණ්ඩුවට විරුද්ධව එන මතය බ්ලොක් කරන එකයි කළේ. එදා පොලිසිය හමුදාව හිටියා. ඔවුන් ලවායි ඒක පාලනය කළ යුතුව තිබුණේ. දිගන සිදුවීම නිසා කෝටි හත්අටසීයක පාඩුවක් වුණා. මුස්ලිම් මිනිස්සු අදටත් පාරවල ඉන්නවා. මිනිස්සුන්ගේ හිත්වල ඇතිවුණු බය අදත් තිබෙනවා. කවදාවත් එහෙම ජීවත් වුණේ නෑ. අද මුස්ලිම් ජනතාව ලොකු බයකින් ජීවත් වෙන්නෙ ලංකාවේ මුස්ලිම් අයට ඉදිරියේදී මොක්කද වෙන්නේ කියලා.
මියන්මාර්වල මුස්ලිම් ජනතාවට ලොකු ප්‍රශ්න තිබුණා අපි දැක්කා. එහෙම ප්‍රශ්නයක් වුණාම මියන්මාර්වල මුස්ලිම් අය ආරක්ෂා කරන්න වෙන රටවල මුස්ලිම් අය ආවේ නෑ. ඒ වගේ ලංකාවේ ප්‍රශ්නයක් වුණාම අපට කවුද ඉන්නේ? දෙමළ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුණා නම් ඉන්දියාවට පීනලා හරි යන්න පුළුවන්. අපට යන්න දිහාවක් නෑ.
පහුගිය ආණ්ඩු කාලයේ සිටම පතුරවපු මතයක් තමයි සිංහල ජනතාව වඳ කිරීමට මුස්ලිම් පිරිස් සූක්ෂ්මව කටයුතු කරමින් සිටින බව. ඒ මතය සම්බන්ධයෙන් ආණ්ඩුව සොයා බැලුවේ නෑ නේද?
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක බටහිර විරෝධයක් තිබුණා. යුද්ධය ඉවර කරපු එක ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. ප්‍රශ්න තිබෙන රටවල් විදිහට මේ රට පවත්වාගෙන යන්නට බටහිර රටවලට අවශ්‍ය වුණා. ඒ අරමුණ නැති කළා මහින්ද රාජපක්ෂ. ඒ නිසයි මහින්ද රාජපක්ෂ මහත්තයා සමඟ විරසක වුණේ. ඒ යුද්ධය ඉවර කළාම මේ රටේ තවත් යුද්ධයක් ඇති කරන්න අවශ්‍යතාවක් තිබුණා. ඔය වගේ බොරු ප්‍රචාර කළේ බටහිර රටවල්. මුස්ලිම් අයගේ එහෙම කුමන්ත්‍රණ නෑ.

ඔබ හිතන්නේ රාජපක්ෂ ආණ්ඩුව මුස්ලිම් ජනතාව ආරක්ෂා කළා කියලයි.
මේ රටේ බහුතරය සිංහල බෞද්ධයන්. එදා අලුත්ගම සිදුවීමේදී ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මුස්ලිම් අයගේ පැත්ත අරගත්ත නම් මේ රට තුළ ආණ්ඩුවට විරුද්ධව සිංහල ජාතිවාදී අරගලයක් ඇති වෙනවා. මුස්ලිම් අයට ආණ්ඩුවෙන් වැරැද්දක් වුණේ නැහැ.
සිංහල _ මුස්ලිම් අය අතරේ ප්‍රශ්නයක් ඇති කරන්න එදා ආණ්ඩුව වැඩ කළා කියලා මං පිළිගන්නේ නෑ. ඒකට හොඳ උදාහරණයක් තියෙනවා. ඒ දවස්වල පුත්තලමේ සිදුවීමක් වුණා මුස්ලිම් ගම්මානෙකට ගිය සිංහල පොලිස් නිලධාරීන් දෙන්නෙක්ව කපලා කොටලා මැරුවා. මුස්ලිම් විරෝධයක්් ඇති කරන්න එදා ආණ්ඩුවට ඕන වුණා නම් ඒ සිද්ධියම ඇති. එක පොඩි සිදුවීමක්වත් සිදු වෙන්න එදා ඉඩ දුන්නේ නෑ. හමුදාවට පොලිසියට පාලනයක් තිබුණා. එදා පොලිසියට හමුදාවට ආරක්ෂක ලේකම්තුමාට ජනාධිපතිතුමාට කවුරුත් බයයි එදා. ඒ නිසා පාලනයක් තිබුණා. අද ඒක නෑ. අද මිනිස්සු කොච්චර මරලා දානවාද කියලා බලන්න.
ඔබ කියන්නේ මිලිටරි පන්නයේ පාලන ක්‍රමයක් අවශ්‍යයි කියලාද?
අනිවාර්යයෙන්ම. එදා ගෝඨභය මැතිතුමාගේ උපන් දිනය දවසේ නායක හාමුදුරුනමක් හොඳ අනුශාසනාවක් කරලා තිබුණා හිට්ලර් වගේ කෙනකු වෙලා හරි මේ රට ආරක්ෂා කරන්න කියලා. ඇත්තට එහෙම පාලනයක් ඕන. එහෙම පාලනයක් නැත්නම් මේ රට හදන්න බෑ.
එවැනි පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි නේද?
ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් එහෙම පාලනයක් කරන්න පුළුවන්.
ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඉඳගෙන මිලිටරි ඒකාධිපති පාලනයක් ගෙන යන්න පුළුවන් කියලාද ඔබ කියන්නේ?
මොනවා හරි විදිහකින් මිනිස්සුන්ව හදන්න පුළුවන් ක්‍රමයක්. රාජපක්ෂ ආණ්ඩුව එදා රටේ කුඩු නැති කළා. ගම්වල කසිප්පු නැති කළා. ත්‍රස්තවාදය අවසන් කළා. ඒවා කළේ ප්‍රජාතන්ත්‍රවාදය තියාගෙනයි. එයාලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළයි රට පාලනය කළේ. නීතිය හැමෝටම සමාන වෙන්න ඕනෑ. ඒත් අද ආණ්ඩුවේ සිටින මිනිස්සුන්ට විතරයි ප්‍රජාතන්ත්‍රය තියෙන්නේ. විපක්ෂෙට ආපු 16දෙනාගෙන් ඇතැම් අයට පසුවදාම එෆ් සී අයි ඩීයට එන්න කියනවා කටඋත්තරයක් ගන්න.
ඉදිරි ජනාධිපතිවරණයකදී මුස්ලිම් ජනතාවගේ ඡන්ද මහින්ද රාජපක්ෂගේ පොදුජන පෙරමුණට ලැබෙයි කියලා හිතනවාද?
අනාගතයේදී මුස්ලිම් ජනතා රැල්ල මහින්ද මහත්තයාට තමයි. පළාත් පාලන ඡන්දයේදී මුස්ලිම් ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් මහින්ද මහත්තයාට උදවු කළේ නෑ. එතකොටත් මුස්ලිම් අයගේ හිත්වල තිබුණා මහින්ද මහත්තයා ආවා නම් ප්‍රශ්නයක් වෙයි කියලා මුස්ලිම් අයට. එහෙම බයක් තිබුණා නෙවෙයි, පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රිවරුන් 21 දෙනකු ඉන්නවා. මේ 21 දෙනාම ඉන්නේ ආණ්ඩුවේ. එයාලා නිතර ඔවුන්ගෙ ආණ්ඩු බලය පාවිච්චි කරලා රාජපක්ෂලාට විරුද්ධව බොරු ප්‍රචාර ගෙන යනවා. අවුරුදු තුනක් මිනිස්සු විඳින්න පුළුවන් දුක විඳිනවා. මුස්ලිම් අයගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වැටිලා තියෙන්නේ. මුස්ලිම් අය ලොකු පීඩනයකින් ඉන්නේ. දිගන ප්‍රශ්නය මුස්ලිම් අයගේ හිත්වලට ලොකු පීඩනයක් ඇති වුණා. අලුත්ගම සිදුවීම දිගන සිදුවීම් බලනකොට දිගන සිදුවීම දවස් කීයක් තිබුණාද? කඩ කීයක් ගිනි තිබ්බාද? ඒක තුළ මුස්ලිම් අය බයකින් ඉන්නේ. ආගමික නිදහසත් සීමා වෙලා.
2015 ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාව පොදු අපේක්ෂකයා සමඟ සිටීම වැරැද්දක් කියලද කියන්නේ?
ඒ වෙලාවේ අපි වාගේ කීපදෙනකු දැක්කා මේ තුළ වැරැද්දක් තියෙනවා කියලා. පාඨලී චම්පික රණවක ඇමැතිතුමා තමයි මුස්ලිම් අයට විරුද්ධ දේවල් කරන්නේ. රනිල් වික්‍රමසිංහට අපි බයයි. ඒ වික්‍රමසිංහ මහතා වැඩිපුරම බටහිර රටවල්, දෙමළ ඩයස්පෝරාව සමඟ සිටින නිසා. ඔවුන් මුස්ලිම් විරෝධීන්. එයාලා නිතර බලන්නේ මුස්ලිම් අයව වට්ටන්නයි. එදා අපි දැන ගෙන හිටියා මුස්ලිම් අය ලොකු අමාරුවක වැටෙන්න යනවා කියලා. ඒ නිසා අපි දිගටම මහින්ද මහත්තයා සමඟ හිටියා. මහින්ද මහතා පැරැදුණාම අපට තර්ජන තිබුණා. ඒත් අපි හිතුවා කවදා හරි මුස්ලිම් අය ඇත්ත තේරුම් ගනියි කියලා. අද මුස්ලිම් අයට ඇත්ත අවබෝධ වෙලා.
නිතර අපට විරුද්ධව කතා කරන පිරිසක් ඉන්නවා. අසාද් සාලිලා, මුජිබර් රහුමාන්ලා. අවුරුදු තුනක් මේ ආණ්ඩුව තුළ මොකද වෙන්නේ කියලා මේ අය කියන්නේ නෑ. තවත් මහින්ද මහත්තයාට සහ ගෝඨාභය මහත්තයාට ‍ෙදාස් කියනවා. ඉස්මයිල් කියන අලුත් මන්ත්‍රිවරයා පත්වෙලා පාර්ලිමේන්තුවට එනකොට විජයදාස රාජපක්ෂ මහතා චෝදනා කරනවා ඔලුවිල් විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබාගන්නවා නම් ඒ සිසුන් ලිංගික අල්ලසක් දෙන්න ඕනෑ කියලා. පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රිවරුන් 21 දෙනාගෙන් එක් අයකු මේ ගැන කතා කළේ නෑ. ගෝඨාභය මහත්තයලා ඉෆ්තාර් උත්සවයට යන එක වැරැදියි කියලා එයාලා ලොකුවට කෑ ගහනවා. මුස්ලිම් අයට වෙන ප්‍රශ්න මොනවාද කියලා කතා කරන්නේ නෑ, එයාලා තව පරණ කතාව කියමින් සිටිනවා. මෙයාලා මුස්ලිම් අය මෝඩයන්ට අන්දගෙන ඉන්නේ. ඔවුන් රට තුළ සිංහල මුස්ලිම් භේදයක් ඇති කරන්න හදනවා.
සංලාපය රසිකා හේමමාලි
ඡායා - උදේශ් රණසිංහ

Post a Comment

Previous Post Next Post