Top News

වතු කම්කරුවන් යළිත් පාරට බහියි !

තම දෙෙනික මුලික වැටුප රු 1000 ලෙස වැඩි කර දෙන ලෙස ඉල්ලා වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් ස්ථාන කිහිපයකම වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්විය.

හැටන් ,බගවන්තලාව යන යන පොලිස් වසම් වලට අයත් ඇතැම් තේ වතු කම්කරුවන්  අද(23) දින වැඩ වර්ජනයක නිරත වෙමින් ප්‍රධාන මාර්ග වලට පිවිස කළු කොඩි අතැතිව උද්ඝෝෂන ව්‍යාපාරවල නියැලුණි.
 
වතු කම්කරුවන් කියා සිටින්නේ තම දෛනික මූලික වැටුප රු 1000 දක්වා වැඩි කර දෙන බවට වතුකරයේ වෘත්තිය සමිති නායකයින් තමන්ට පොරොන්දු වී දින ගණනාවක් එම වෘත්තිය සමිති නායකයින්ගේ ඉල්ලීම පරිදි වැඩ වර්ජනයකද නිරත වු බවයි. 
එම නායකයින් තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කර දීමට තවදුරටත්  කටයුතු නොකිරීම හේතුව මත තමන් වැඩ වර්ජනය කරමින් මෙසේ උද්ඝෝෂණ ව්‍යාපාර වල නිරත වන බවද උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේය.

බගවන්තලාව නගරයට පිවිසි වතුකම්කරුවන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයද අවහිර කරමින් උද්ඝෝෂණයේ නියැලි සිටියේය.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය, වතු ඒකාබද්ධ වෘත්තිය සමිති සහ රජය අතර අවස්ථා කිහිපයකම පැවති සාකච්ඡා වලදී වතු හාම්පුතුන්ගේ සංගමය අවධාරණය කර  ඇත්තේ දැනට වතු කම්කරුවකුට දිනක මුලික වැටුප වශයෙන් ගෙවන රු 530 වැටුප රු 600 දක්වා වැඩි කිරීමට හැකි බවත්, වසරකට රු 25 බැගින් ඉදිරි වසර තුනක් ඇතුලත වතු කම්කරුවකුගේ මුලික වැටුප රු 675 දක්වා වැඩි කිරීමට හැකි බවයි. ‍

එම  යෝජනාව එම සාකච්ඡාවලට සහභාගී වු වතු ඒකාබද්ධ වෘත්තිය සමිති මගින් ප්‍රතික්ෂේප කර ඇත.
එසේම වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක්  ‍ලෙස වැඩිකරන ලෙස ඉල්ලා මාතලේ නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී  අද(23) වන දින විරෝධතාවක නිරතවූහ.
එම විරෝධතාව සඳහා වතු කම්කරුවන් වෘත්තියවේදීන් හා ස්වෙච්ඡා සංවිධානවල නියෝජිතයින් සහභාගි වී තිබේ.

විරෝධතාවට එක්වු වතු කම්කරුවන් ඉහල ගොස් ඇති බඩු මිළට සාපේක්ෂව දෛනික වැටුප  වැඩි කරන ලෙස රජයට බල කරමින් මෙම විරෝධතාව පවත්වන බවත් තමන්ට ලැබෙන දෛනික වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බවත් මේ සඳහා එක්වු වතු කම්කරුවන් සඳහන් කළේය.
Previous Post Next Post