කාබන් පරීක්ෂණ සඳහා ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවූ මන්නාරම සමූහ මිනිවළේ අස්ථි සාම්පලවල වාර්තාව ඊයේ (07) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහජන ලියවිල්ලක් මඟින් ප්‍රසිද්ධ කරනු ලැබීය.
පෙරේදා (6) අදාළ වාර්තාව නිල වශයෙන් අධිකරණය වෙත ලැබුණු අතර එහි විද්‍යාත්මක දත්ත ලැබී ඇතත් අදාළ දත්තවල නිල පැහැදිලි කිරීමක් අධිකරණය අදාළ ආයතනයෙන් ඉල්ලා තිබේ. එම කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අදාළ දත්ත ලැබීමෙන් අනතුරුව සිදු කරන ලෙස අධිකරණය පරීක්ෂණ කටයුතුවල නිරත විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා වෙත දන්වා තිබේ.
දත්ත වාර්තා අනුව අදාළ සාම්පල ප්‍රස්තාරවල කාලය ක්‍රි. ව. 1450-1650 අතර සීමාවක පෙන්නුම් කරන බවට අනාවරණය වන නමුත් කාලසීමාව නිශ්චිතව ප්‍රකාශ කිරීම ඒ තුළින් සිදු කළ නොහැකි බව විශේෂඥ මතයයි.
මෙම දත්ත පිරික්සීමේදී පරීක්ෂණයට ලක් කළ අස්ථි කොටස් පෘතුගීසි සමයට අයත් විය හැකි බවට අනුමාන කළ හැකි යැයි මහාචාර්ය රාජ් සෝමදේව විදෙස් මාධ්‍යයකට පවසා තිබේ